මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් ඊයේ (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 42 සහ 46 වන නවගත්තේගම සහ උලුක්කුලම ප්‍රදේශවල පදිංචි විශ්‍රාමික යුද හමුදා බුද්ධි අංශ සෙබළුන් දෙදෙනෙකු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පුවත්පත් කතෘවරයෙකු ලෙස සේවය කරමින් සිටි මාධ්‍යවේදී කීත් නොයාර් 2008 මැයි මසදී පැහැරගෙන ගොස් පහරදී තිබුණි. මෙම සිද්ධියට අදාළව මීට පෙරද හමුදා සාමාජිකයින් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.