සබරගමුවේ සිසුවාගේ මරණය පිළිබඳව පූර්ණ අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්විය යුතුයි – අන්තරේ

 සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකු වන 23 හැවිරිදි චරිත් දිල්ශාන්ගේ මරණය සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය (අන්තරේ) විසින් නිවේදනයක් නිකුත් කර ඇත. ඔවුන් පැවසූයේ මෙම සිදුවීම පිළිබඳව ගැඹුරු කණගාටුවක් ප්‍රකාශ කරන බවයි.

මරණය නවක වධයක ප්‍රතිඵලයක් බවට ඇති චෝදනාවන්ට අදාලව, පූර්ණ අපක්ෂපාතී හා නිවැරදි විමර්ශනයක් පවත්වා, එය සත්‍ය නම් වගකිව යුතු පුද්ගලයන්ට නීතිය අනුව දඬුවම් කිරීමට කටයුතු කළ යුතු බව ඔවුන් අවධාරණය කරති. එමෙන්ම එවැනි විමර්ශනයකට අන්තරේ සියලු සහය ලබා දීමට සූදානම් බවත් සඳහන් වේ.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ, නවක වධය වැනි පසුගාමී සංස්කෘතික ක්‍රියාදාමයන් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ඉඩ නොදිය යුතු බවයි. මෙමවැනි සිදුවීම් භාවිතයෙන් අධ්‍යාපන පෞද්ගලීකරණය තහවුරු කිරීමට සහ ජනතාව අතර විශ්වාසය දුර්වල කිරීමට රාජ්‍ය පාලනය උත්සාහ කරන බවත් ඔවුන් සඳහන් කරති.

අවසානයේ ඔවුන් සියලු විශ්ව විද්‍යාල සිසුන්ගෙන්, එවැනි පසුගාමී සංකල්පයන්ට එරෙහිව ක්‍රියාත්මක විය යුතු බවට ඉල්ලීමක්ද කළහ.