නිල්වලා සහ ගිං ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟා වෙයි

නිල්වලා ගඟ අකුරැස්ස සහ පානඳුගම ප්‍රදේශවලින්, ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කරයි.

මෙම තත්ත්වය සමඟ, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි.

මේ අතර, බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලට සහ මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා අද පස්වරුවේ මිලිමීටර 75 ක පමණ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

සෙසු ප්‍රදේශවල රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ජනතාවට දැනුම්දීමක් කර ඇත.