සාපෙළ විභාග කාලසීමාවේදී ආපදා කළමනාකරණය සඳහා විශේෂ වැඩපිළිවෙළක්

2024 (2025) සාපෙළ විභාග කාලසීමාවේදී අනපේක්ෂිත ආපදා තත්ත්වයන් හේතුවෙන් සිදුවිය හැකි බාධා මගහරවා ගැනීම සඳහා, විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි.

මෙම සැලසුමට අනූව, විභාගයට පෙනී සිටින සිසුන්ට සහ විභාග රාජකාරී සඳහා සම්බන්ධ වන නිලධාරීන්ට ආපදා හේතුවෙන් මුහුණදිය හැකි බාධා වලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා ක්‍රියාවලිය ශක්තිමත් කරනු ලබයි. මේ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අනිකුත් ආපදා කළමනාකරණ අංශ එක්ව අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

අදාළ තත්ත්වයන්ට මුහුණදීම සඳහා, DMC හදිසි ඇමතුම් අංක 117 වෙතද, හෝ විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක 0113 668 020 / 0113 668 100 / 0113 668 013 / 0113 668 010 / 076 3 117 117 වෙතද දුරකථන ඇමතුම් ලබා ගත හැක.

මීට අමතරව, විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය 1911 වෙතද දැනුම්දිය හැකි අතර, උපරිම වේගයෙන් අවශ්‍ය සහාය ලබා දීමට මෙහෙයුම් කණ්ඩායම් සූදානම් කර ඇත.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අරමුණ, විභාගය කිසිඳු බාධාවක් නොමැතිව සිසුන්ට පැවැත්විය හැකි ආරක්ෂිත පරිසරයක් සැලසීමයි.